කාල යක්ෂ — 12
නෙමින්දෙර් රජු සිය පෞද්ගලික කුටියට වී ජනේලයෙන් ඈත පෙනෙන සාගරයත්. එපිටින් වූ නගරයත් දෙස බලා සිටියේය. ඔහු මදක් කල්පනා කරමින් සිට සිය හිස් වැසුම ගෙන ඩෙලෝ ට ඇමතුමක් ගත්තේය..
“මොකද …?”
“මේ ඩෙලෝ , අර උමං ජාලේ මතකයි නේද ? එකේ හොලොග්‍රෑම් එක තියෙනවනම් ටක් ගාල වයිසර් එකට ලෝඩ් කර ගන්න..”
“අහ්… පොඩ්ඩක් ඉන්නවා… මම මේ .. මේ .. වෙන වැඩක ඉන්නේ …”
“මේක හදිස්සියි… ලෝඩ් උනා ද ?”
“ඔව් … දැන් මොකද මේ කලබලේ ..?”
“හ්ම්… අපි ඒ කාලේ ඕක දිගේ ගිහින් ඕක මැප් කරද්දී සමහර උමං මාර්ග ඉවර වෙච්ච තැන් මාක් කළා නේද ? ඔය ටෙරමි වලින් එහාට කඳුකරේ පැත්තට තියෙන ලයින් එකේ එහෙම තැන් කිහිපයක් තිබ්බ මට මතකයි.. තව ඔය මේ ළඟදී අර මිනි මැරුම වෙච්ච ලැබ් එක තියෙන හරිය, ඒ කිව්වේ ජිරාග් වලට දකුණින්, මාකෝ කුළුන කිට්ටුව.. පොඩ්ඩක් බලනවකෝ ..” රජු පැවසිය.
“ඔව් ඉතින්…. මීටර් කිහිපයකට වඩා ඒවායේ උමග තිබිලා නැහැ ඒ කාලේ … ඩෙලෝ සිය මුහුණ ඉදිරියෙන් වූ වයිසරය මත පෙනෙන ත්‍රිමාන උමං පද්ධතිය දෙස බලමින් පැවසිය.
“මට පෙන්නේ කවුරු හරි අපි ඕක මැප් කලාට පස්සේ ආයේ උමග හාරලා… ඔය ලැබ් එකේ ඉඳල කඳුකර ලයින් එක සම්බන්ද කරලා කියල මට හිතෙනවා.. “
“කවුද ඕවා කරන්නේ… තමුසේ කියන්නේ ක්‍රොෆින්ගර් ගේ වැඩක් කියල ද ?
“ම්ම් …. ක්‍රොෆින්ගර් ඔය වගේ වැඩ වලට උනන්දු නැහැ… නමුත් කියන්න බැහැ.. දැන් දවස් දෙතුන් දාහකින් විතර අපි කවුරුත් ඕව ගැන හොයල බැලුවේ නැහැනේ… එක්කෝ මේ කොල්ලොම ඕක කරලා, මොකද අර ඇලෙන්ඩිව පැහැරගෙන ආවේ උමගකින් නේ…
නමුත් එයාල යෙදිලා ඉන්න වැඩත් එක්ක ඔය වගේ වැඩ කරන්න වෙලාවක් තියෙන්න විදියක් නැහැ…”
“තමුසේ දැන් රහස් පරීක්ෂක වැඩත් කරනවද ? මේ නෙමින්දෙර්… කෝ ඔය මහ ලොකු ඇමතිලා, ආරක්ෂක ප්‍රධානින් එහෙම..? ඕවා හොයන්න ඕනේ ඒ මිනිස්සු නේද..?
“උන්ගෙන් වැඩක් නැහැ… මට වාර්තාවක් එව්වා… එකේ තියෙන විදියට මොකක් හරි ප්‍රේම පලහිලව්වක් හින්දා වෙච්ච පුද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ලු… උන් හදන්නේ මට මොකක් හරි කියල දාල ඇඟ බේර ගන්න… අනිත් එක ඒ එකෙක්වත් ගෙදරින් එලියට බහින්නේ නැතුව ඔක්කොම රොබෝලා ලව්වා හොයන්නේ… ඉතින් හිතා ගන්න පුළුවන් නේ…”
“හෙහ් හෙහ් … තමුසෙගෙ මහා ලොකු තාක්ෂණික ලෝකේ වැඩ වෙන්නේ ඔන්න ඔහොමයි… දැන් වත් තේරුණා ද ? ඩෙලෝ අවඥාවෙන් පැවසිය..
“ඒවා වැඩක් නැහැ… මට පොඩි උදව්වක් කරනවා.. අර ෆොර්මැටො ගැන පොඩ්ඩක් හොයල බලනවා… මිනිහගෙයි නීෂාගෙයි සම්බන්දෙ හින්දා මට පොඩි සැකයක් තියෙනවා.”
“කොහොමත් බෑණ වෙන්න ඉන්න කොලුවා ගැන හොයල බලන එක නම් හොඳයි තමා… “ ඩෙලෝ පැවසීය….
“ඩෙලෝ මට තමුසේ විතරයි මේ සමහර දේවල් කතා කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ… මට හිතෙනවා මොකක් හරි ලොකු කුමන්ත්‍රණයක් සිද්ද වෙනවා කියල… ක්‍රොෆින්ගර්, චක්‍රාවාට සංගමයේ ප්‍රතික්ෂේප වීම , මේ කෙල්ලගේ අතුරුදහන් වීම,… ඔය ටික ඔක්කොම වුණේ එකම වෙලාවේ … අනිත් එක මගේ ශුද්ධ ශක්ති වැඩෙත් සෑහෙන ප්‍රගතියක් තියෙනවා… මගේ අවධානය එකෙන් අයින් කරන්න කාට හරි උවමනාවක් තියෙනවා කියල මට හිතෙනවා.. පොඩ්ඩක් මේ වෙලාවේ මට උදව්වක් කරනවද ..? “ නෙමින්දෙර් රජු සිය පැරණි මිතුරාගෙන් ඉල්ලා සිටියේය…
“හරි හරි… බය වෙන්ඩ එපා… මම මොකක් හරි කරන්නම්…. “ ඩෙලෝ ඇමතුම විසන්දි කර දැමුවේය.
නෙමින්දෙර් රජු හෙමින් සීරුවේ කාමරයේ සක්මන් කෙරුවේ තමා ගත යුතු ඊළඟ පියවර කුමක් දැයි සිතමිණි.
රජුගේ කල්පනාවට බාදා කරමින් පැමිණියේ හමුදා ප්‍රධානියාගේ ඇමතුමකි.
“රජතුමනි… අර ඇලෙන්ඩි ගේ පැහැරගැනිමටත්, බ්‍රයිටෝ ගේ මිනිමරුමටත් සැකපිට අත්අඩංගුවට අරන් හිටපු කර්වියෝ සහ විටාසෝ කියන දෙන්න හිරෙන් පැනල ගිහින්… “
“ඒ කොහොමද ..? “ රජු කල්පනා කාරීව ඇසුවේය..
“මුරට හිටපු සෙබළෙකුට අල්ලසක් දෙනවා කියල බොරුවක් කරලා තමා එලියට ගිහින් තියන්නේ ..
“අල්ලස් … මම හිතාගෙන හිටියේ මේ රටේ මිනිස්සු අල්ලස් ගන්නේ නැහැ කියල… මොන අඩුපාඩු තියෙනවටද මේ සෙබළු හිර කාරයින්ගෙන් අල්ලස් ගන්නේ ..?” රජු කෝපයෙන් යුතුව ඇසීය..
“දැනට ආරංචි විදියට නම් මේ … බැලස්ටිකා ප්‍රයිම් එකක් දෙන්නම් කියලලු පැනල ගිහින් තියන්නේ … දැන් මේ මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ මේ ස්කෘලොක් ගේ කාලේ ආයේ එයි කියල හින්ද මේ වගේ මෝඩ මිනිස්සු අහු වෙනවා..”
“හහ්… බැලස්ටිකා ප්‍රයිම්… ඒක නියම අල්ලස… මේ පොඩි කොල්ලෝ කොහොමද බැලස්ටිකා ප්‍රයිම් ගැන දන්නේ… මේ නිකො… ඔය කොල්ලෝ දෙන්නා මිනිමරුවෝ වත්… ඕකට සම්බන්ධවත් නැහැ… නිකං බොරුවට හිර කරගෙන ඉඳල වැඩක් නැහැ … නමුත් උන් දෙන්න යන එන තැන් ගැන පොඩ්ඩක් හොයල බලන්න.. මොකද සමහර විට අර සේප්පුවේ තිබ්බ දේවල් ගැන යමක් දැන ගන්න පුළුවන් වෙයි..”
“හොඳයි රජතුමනි..” හමුදා නායකයා පැවසිය..
“මේ නිකො තව එකක්… අර රෙඩ් වුල්ෆ් කඳවුර කවුද දැන් බලන්නේ ..?”
“රෙඩ් වුල්ෆ් එක බාරව ඉන්නේ ක්‍රවිට්ස්… රජතුමනි, රෙඩ් වුල්ෆ් ගැන අහපු හින්දා මේ කියන්නේ… අපිට චක්‍රවාට සංගමයේ සාමාජිකත්වය තාම නැති හින්දා, ගොඩක් සෙබළු ඉන්නේ කලකිරීමෙන්.. මොකද අභ්‍යවකාශ මිෂන් කිසි දේකට යන්න විදියක් නැහැනේ… මේ නගරේ තියෙන සුළු සුළු ප්‍රශ්න විසදන්න මැදිහත් වෙන්න සෙබළු කැමති නැහැ ..”
“හ්ම්… මට තේරෙනවා… නමුත් දැන් මිනි මැරුමක්, පැහැර ගැනීමක් සහ අල්ලස් දීමක් වෙලා තියෙනවා.. නගරේ අපි හිතන තරම් සාමකාමී නැහැ.. චක්‍රාවාට සංගමේ වැඩේ ගැන මම බලන්නම්.. කොහොමටත් අපි ආරක්ෂාව ශක්තිමත් කරගන්න ඕනේ.. ඒක ගැන සැලකිලිමත් වෙලා මට වාර්තාවක් එවන්න මොනවද කරන්න ඕනේ කියල..” රජු අවධාරණය කළේය…
නිවාස අඩස්සියේ සිටි නීෂාට ෆොර්මැටෝ ගේ හමුව සතුටක් වුවද, ඔහු ගැන ඇති සියුම් සැකය නිසා නිදහසේ ඔහු හා හැසිරීම ඇයට මදක් අපහසු විය.. ඇලෙන්ඩි නැති පාළුව සහ අනෙකුත් මිතුරියන් සමග නිදහසේ ගැවසීමට නොහැකි වීම නිසා ඇයට වෙන විකල්පයක් ද නොවීය… මාළිගයට පිවිසීමට අවසර තිබුනේ ෆොර්මැටෝ ට පමණි..
“එපා… කවුරුවත් දකියි…. “සිය ගවුම තුලට සෙමින් ඇතුල් වූ ෆොර්මැටෝ ගේ අත ගසා දමමින් නීෂා පැවසීය.. “මේ මාලිගාව අස්සේ කවුරු දකින්නද… යැයි පවසා ඔහු නැවත වරක් සිය පෙම්වතියගේ සිරුරේ පහස විඳීමට උත්සාහ කළේය..
වෙනදා මෙන් ඔහුගේ පහස නීෂා කුල්මත් කලද, සිතෙහි වූ දෙගිඩියාව ඇයව අපහසුවට පත් කළේය…
“ඔයා ඇලෙන්ඩි ඉන්න තැන දන්නවද ..? “ ඔහුගේ මදක් ඈත් වූ ඇය ක්ෂණිකව ඇසීය.
“මොකක් …? මම කොහොමද ඒක දන්නේ… අනික එදා රජතුමා කිව්වේ ඉන්න තැන හොයා ගත්ත කියල.. මගෙන් මොනවාද අහන්නේ…? ෆෝමැටෝ කෝපය මුසු පුදුමයකින් මෙන් ඇසීය..
“මට හිතෙනවා ඔයා දන්නවා කියල… නීෂා ඔහු දෙස තියුණු ලෙස බලමින් පැවසීය..
“පිස්සුද .. ඔයාට… මම දන්නේ කොහොමද .. ?
“ඔයා අපි එදා ගිය ලැබ් එකට නිතර යන කෙනෙක්… ඔයා එතන සිද්ද වෙන වැඩ ගැන නොදැන ඉන්න බැහැනේ..”
“මම ලැබ් එකට ගියාට පැහැරගත්තේ කවුද, ඇලෙන්ඩි ඉන්නේ කොහෙද කියල දන්නේ කොහොමද ..? මම එදත් කිව්වේ… අනිත් එක… මට ඇලෙන්ඩි අන්තිමට හම්බ වුනේ මෙහෙදී.. මම මොකටද අලෙන්ඩිව පැහැර ගන්නේ.. ඔයා ඇලෙන්ඩිට වඩා ලස්සනයිනේ.. මම පැහැර ගන්නේ ඔයාව.. “ ඔහු නැවත ඇයට කිට්ටු වෙමින් පැවසීය…
ඔහුගේ දෑස් වල ලියවුනු යමක් සඟවන බව ඉතා පහසුවෙන් කියවා ගත් නීෂා ඔහුගෙන් ඈත් විය…
“ඔයා බොරු කියන්නේ…” ඇය ඉවතට යමින් පැවසීය.
“අද මොකද මේ වෙලා තියෙන්නේ.. ඇලෙන්ඩි ට කරදරයක් වෙන්නේ නැහැ… ඔයා බය නැතුව ඉන්න…”
“කොහොමද ඔයා ඒක දන්නේ…?”
“හරි… මම දන්නේ මෙච්චරයි… ඇලෙන්ඩිව අරන් ගිහින් තියෙන්නේ එයාගේ දැනුමෙන් වැඩක් ගන්න… ගොඩක් වෙලාවට එයා අර කරපු ශක්තිය ගබඩා කරන ප්‍රොජෙක්ට් එක නිසා වෙන්න පුළුවන්..”
“ඉතින් ඒක හැමෝම දන්න දෙයක් නේ.. ඇයි පැහැරගෙන යන්නේ ..? අනිත් එක කවුද ..?”
“කවුද කියන එක මට හරියටම කියන්න බැහැ…. නමුත් කරදරයක් වෙන්නේ නැහැ කියල මම දන්නවා..”
“ ඔයා දන්න දේවල් කියන්නේ නැත්තේ මොකද ? තාත්තා ටක් ගාල හොයා ගනියි… අනිත් එක දැන් දවස් 3 කටත් වැඩියි… කාටද එච්චර කල් කෙනෙක්ව තියා ගන්න ඕනේ ..?
“මම දන්නෙ නැහැ මොකුත්… ඔය මම හිතන දේ …. “
“බොරු කියන්න එපා ෆොර්මැටෝ… ඔයා මොකක් හරි හංගනවා…”
ඒ සමගම ටෙක්සෝ පිටුවට ලැබුණු ඇමතුමක් නිසා ෆොර්මැටෝ මදක් ඉවතට ගියේය…
නීෂා පසෙකට වී ඔහු දෙස බලා සිටියාය… ඔහුගේ කඩවසම් සිරුර තුල සිටින සැබෑ මිනිසා කවුද යන්න පිළිබඳව ජිවිතයේ ප්‍රථම වතාවට ඇයට තද උවමනාවක් ඇති විණි…
ඇමතුමත් සමග, ඇයට අතින් සංඥා කර මාලිගාවෙන් ඉවතට ගිය ෆොර්මැටෝ තුලද ඇය ඔහුව සැක කිරීමට පෙළඹුනේ මන්ද යන සැකය මෝදු වන්නට පටන් ගත්තේය….
මේ අතර රජු මාලිගයෙන් පිටව යන සිය අනාගත බෑණා වීමට ඉඩ ඇති මේ තරුණයා දෙස ඉහල මාලයේ සිට බලා සිටියේය. ඒ වන විටත් ගුවනේ තිබුණු ක්ෂුද්‍ර ඩ්‍රෝන යානාවක් රජුගේ අණින් තරුණයාගේ සියලු ගමන් බිමන් නිරීක්ෂණය කිරීම ආරම්භ කර තිබිණි.
ෆොර්මැටෝ යනු පෙරදිග රාජ්‍යයේ ධනවත් ව්‍යාපාරික පවුලක එකම දරුවාය. විවිධ රසායනික අමුද්‍රව්‍ය සැපයීමේ ව්‍යාපාර වල මුලාරම්භකයෙකු වූ ෆොර්මැටෝගේ පියා , නෙමින්දෙර් රජුගේ ද හිතවතෙකි. පියාගේ අභාවයෙන් පසු සිය ව්‍යාපාර ජාලය බාර ගත් ෆොර්මැටෝ සහජයෙන් ම ශූර ලෙස කටයුතු කිරීමට සමතෙකි. සමාජයේ බිම් මට්ටමේ සිට රජ පවුල දක්වා සම්බන්ධ කම් ඇති ඔහු, මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ රටේ ආර්ථිකයේ ස්භාවය මනාව වටහා ගෙන තිබිණි. නීෂාට වඩා තරමක් වැඩිමහලු ඔහු ගේ දක්ෂතා කෙරෙහි නෙමින්දෙර් රජුද පැහදි සිටියමුත්, ෆොර්මැටො රජුගේ සමහර තීරණ පිළිබඳව නොසතුටින් සිටියේය.රටේ බොහෝ දෙනා මෙන්, පෙරදිග රාජ්‍යයට තවමත් චක්‍රාවාට සංගමයේ සාමාජිකත්වය ගැනීමට නොහැකිවීම රජුගේ දුර්වලතාවක් බව ඔහුද තදින්ම විස්වාස කළේය. රජුගේ තාක්ෂණික ව්‍යාපෘති වලට අමුද්‍රව්‍ය සැපයීම නිසා ඔහු තාක්ෂණික දියුණුව පිළිබඳව විරෝධයක් නොදැක්වුවද, පාලනයේ වෙනසක් විය යුතු බව විශ්වාස කරන්නන් සමග ඔහුද සිටියේය.
නීෂා සමග ඇතිවූ බලාපොරොත්තු නොවූ කතා බහ සහ සිය ව්‍යාපාරික සගයෙකුගේ ඇමතුම නිසා ඔහුට එදින රජු හමුවීමට නොහැකි වීම ගැන ඔහු කණගාටු විය. ඔහුගේ බලාපොරොත්තුව වී සිටියේ , රජු , කෙතරම් දුරකට ඇලෙන්ඩි ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් තොරතුරු දන්නවාදැයි දැන ගැනීමටය.
ඔහු ක්‍රොෆින්ගර්ව විශ්වාස නොකළද, පාලනයේ වෙනසක් කිරීමට නම් ස්කෘලොක් වැනි බලවත් නායකයෙකු අවශ්‍යය බව තේරුම් ගැනීමට තරම් දේශපාලන දැනුමක් ඇත්තෙකු විය. නෙමින්දේර් මෝඩයෙකු නොවන බවත්, ස්කෘලොක් පෙන්වා , ක්‍රොෆින්ගර් බලය අල්ලා ගැනීමට ඉඩ ඇති බවත් දත් ෆොර්මැටෝ ගේ අරමුණ වුයේ අවස්ථාව ලද සැනින් දිනන පැත්ත ගෙන තමන්ගේ බලය වැඩි කර ගැනීමය. නීෂා තුල ඔහු ගැන ඇති වී ඇති සැකය ඔහුට අවාසි විය හැකි බව හේ වටහා ගත්තේය. ස්කෘලොක් යනු කෙතරම් බලවතෙකු වුවද , බලයේ සිටින පාලකයා සමග කිට්ටුවෙන් සිටීම හැමවිටම වාසිදායක බව ඔහුගේ කපටි වෙළඳ ඥානය ඔහුට තේරුම් කර දී තිබුණේය. තරුණ නීෂා ගේ සිත ඒ සඳහා ඇති හොඳම අවිය බවත් ඔහු දත්තේය.