Pathum Herath
6 min readFeb 6, 2021

කාල යක්ෂ — 11 — අමුත්තෝ

10 වන කොටසට

වෙහෙසට පත්ව සිටි ඇලෙන්ඩි නාන කාමරය තුල වූ කුඩා තටාකයට බැස සිය සිරුර සැහැල්ලුවට පත් කර ගත්තාය. ඇගේ සෑම ක්‍රියාවක්ම නීරීක්ශනය වන බව දැන සිටියත් මෙවෙලෙහි ඇය ඒ ගැන වද නොවූවාය. ඇයට අවශ්‍ය වී තිබුනේ නිදහසේ මද වේලාවක් ගත කරමින් සිදුවූ සහ සිදුවන සියල්ල ගැන සිතා බැලීමට සහ සියල්ල මොහොතකට අමතක කර සැහැල්ලු වීමටත් ය. කුඩා ජල තටාකයේ වූ පිරිසිදු ජලය ඇයට ඒ අවස්ථාව ලබා දී තිබිණි.

පැරදිසෝ ලොවෙහි ජල කලමනාකාරණය ඉතා උසස් මට්ටමක පැවතිණි. සෑම නිවසකම, ගොඩ නැගිල්ලකම බාවිතයට ගත් ජලය එහිම පිරිපහදු කර නැවත භාවිතා කිරීම පැරදිසෝ වාසීන් ගෙ ක්‍රමය විය. එසේම කුඩා තටාක ඔවුන් ස්නානය සඳහා බාවිතා කලේ මේ ක්‍රමය තවත් ඵලදායී කර ගනු පිනිසය.

ඇයට ජඩ් ගැන පැහදීමක් වැනි හැඟීමක් දැනී තිබිණි. ඔහුගේ පෙනුම කඳුකර වාසියෙක් මෙන් උවද, කතා බහ තුල නවීන සහ ඥානවන්ත කමක් ගැබ් වී තිබිණි.මේ සිදුවන දේ පිළිබඳව යමක් ඔහුගෙන් දැන ගැනීමට හැකිවෙතැයි ඈ තුල විශ්වාසයක් විය.

ජීවිතේ පලමු වරට මොහොතකට පමනක් හමුවූ මිනිසෙකු ගැන ඇයට දැනුනු මේ පහන් හැඟීම ගැන ඇය චකිතයට පත් විය. ඊටත් වඩා තමන් ඒ සිතිවිල්ල ගැන අවධානය යොමු කිරීමද ඇය නුහුරු හැඟීමක් ඇති කලේය.

ස්නානය අවසන් කර එලියට පැමිනෙත්ම, ඇය උනා දමා ගිය ඇගේ ඇඳුම් වෙනුවට දුහුල් ඇඳුමක් එහි තිබිණි. ගොඩනැගිල්ලට ඇතුලු වත්ම වූ පිලිමය ඉදිරියට පැමිනි තරුණියන් හැඳ සිටි ආකාරයෙ සුදු පැහති ඒ ඇඳුම ඇඳ ගැනිම ඇයට නුහුරු විය. නමුත් ඇගේ පරණ ඇදුම අතුරුදහන් වී තිබුනෙන් වෙන විකල්පයක් ද නොවීය.

පහලට යන වේදීකාවට නැග සෙමින් කාමරය තුලට පැමිනි ඇයට එහි වූ රසමසවුළු පිරි කෑම මේසය සහකාර රොබෝවෙකු දක්නට ලැබිණි. දෙවරක් නොසිතා රිසි පරිදි කුස ගිනි නිවාගත් ඇය තමා සූදානම් බව ජඩ් ට දන්වන මෙන් රොබෝවාට දැන්වීය. කෑම මේසය වහා අස් කර ගත් රොබෝවා කාමරයෙන් පිටවිය.

කාමරයේ තනිවූ ඇය එහි වූ අමුතු වර්ණ සහ පෙරදිග රාජ්‍යයේ වෙන කිසිම තැනක ඇය දැක නොතිබුණු ආකාරයේ අලංකාරවත් කැටයම් සහිත බුමුතුරුණු දෙස බලා සිටියාය.

කාමරයට ඇතුලු වූ ජඩ්, ඇයට බිම වූ කුඩා ආසනයේ වාඩි වීමට ආරාධනය කරමින් ඇය ඉදිරියෙන් හිඳ ගත්තේය. සිය දුහුල් ඇඳුම නිසා විපිලිසරව සිටි ඇලෙන්ඩිට ජඩ් ගේ මුහුණේ වූ හැඟීම් විරහිත ස්භාවය නිසා පහසුවක් දැනිනි.

“බය වෙන්න එපා. ඔබට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.” ජඩ් ශාන්තව පැවසීය.

“මම මේ කොහෙද ඉන්නෙ?” ඇලෙන්ඩි ඇසුවාය.

“ඔබ මේ ඉන්නෙ අපේ කඳවුරක. ඇත්තටම ඒක කර්මාන්ත ශාලාවක් වගේම පූජා ස්ථානයකුත් වෙනවා.”

“කඳවුරක් කිව්වෙ? රජුගෙ හමුදාවට අයිති තැනක් ද?”

“ඔව් එහෙම කියන්නත් පුළුවන්… නමුත් ඒක ඔබ රජු කියන්නෙ කවුද කියන එක මත තීරණය වෙනවා..”

“ඒ කිව්වේ…”

“අපි බැලන්සර් වරු.. ඒ කියන්නෙ පෙරදිග රාජ්‍යයේ ස්භාවය සමතුලිතව තබා ගැනිම වෙනුවෙන් කටයුතු කරන අය.. පැරදිසෝ ලොවේ විතරක් නෙමේ.. විශ්වයේ නොයෙක් ග්‍රහලෝක වල අපි පැතිරිලා ඉන්නවා.. “

“මම කවදාවත් එහෙම අය ගැන අහල නෑනේ..”ඇලෙන්ඩි සැකයෙන් යුතුව පැවසීය..

“ඔබ ජීවත් වී ඇති කාලය තුල මීට පෙර බැලන්සර් වරු මේ රටේ කටයුතු වලට මැදිහත් වෙලා නෑ.. ඉතින් ඔබ අපි ගැන නොදැන ඉන්න එක පුදුමයක් නෙමේ..”

“නමුත් අපේ ඉතිහාසෙවත් ඔබලා ගැන සඳහනක් නෑනේ… ‘

“ඉතිහාසෙ තියෙන හැමදේම සම්පුර්ණ ඇත්ත වත් සම්පුර්ණ බොරුවත් නෙමේ.. හිතාමතා ඉතිහාසෙ සඳහන් නොවුන සහ සඳහන් නොකරන බොහෝ දේවල් තිබෙනවා.. බැලන්සර් වරු කියන්නෙ එසේ ඉතිහාසේ සඳහන් නොකරන පිරිසක්…”

“නමුත් … එහෙම අය මොකද මං වගේ කෙනෙක්ව මෙහෙම පැහැර ගෙන ඇවිල්ලා කරන්නෙ..”

“අනිත් එක මට තේරෙන්නෙ නෑ.. ඔබලා මේ රටේ මොකද කරන්නෙ කියල… “

ඇලෙන්ඩි මදක් වික්ෂිප්තව ඇසීය…

“මම ඔබට හැමදේම කියන්නම්…

“නමුත් ඊට පෙර අපට ඔබෙන් යම් උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා…”

“ඔබගේ තාක්ෂනික දැනුම අපට අවශ්‍යයි.. ‘ ජඩ් කාරුණිකව පැවසීය..

“හ්ම්ම්ම්.. හොඳයි..”

“නමුත්.. මට මේ සියල්ල හරියට පැහැදිලි කර ගන්න ඕනෙ.. “

“හැමදේම ටිකෙන් ටික පැහැදිලි වෙයි… ඔබ අප ගැන බිය විය යුතු නැහැ.. අපේ අරමුණ කිසිවෙකුට කරදර කිරීම නොවෙයි. “

“නමුත් ඔබලා මගේ යහලුවාව මැරුවා.. ඒ මොකද ? ඔහු අහිංසක කෙනෙක්…”

“මරණය කියන්නෙ තාවකාලික දෙයක්.. !” ඒ ගැන ඒ තරම් කලබල විය යුතු නැහැ.. සමතුලිත තාවය රැකගැනීමට සමහර දේ අලුතින් එකතු කරන්න සහ සමහර දේ ඉවත් කරන්න සිද්ද වෙනවා..”

“මොන සමතුලිතතාවයක් ගැනද මේ කියන්නෙ..?”

“ඔබ ඔබගේ ජීවිත කාලය තුල වැඩි ප්‍රමුඛතාවයක් දීලා තියෙන්නෙ තාක්ෂණික කටයුතු වලට.. ඉතින් ඔබ දැන් එහි ප්‍රවීණයෙක් වෙලා තියෙනවා.. ඒ වගේම ඔබ කිසිදා සැලකිල්ලට නොගත් බොහෝ දේත් මේ විශ්වය තුල තියෙනවා..”

“උදාහරණයක්…??”

ජඩ් මදක් සිනාසුනේය..

“ඔබ ඉතාමත් රූමත් තරුණියක්.. මම හිතන්නෙ ඔබ ඒක දන්නවා.. නමුත් ඔබගේ ඔය රූමත් කම එසේ පැවතීම වෙනුවෙන් තව බොහෝ කරුණු කාරනා හේතු වෙනවා.. ඒ එක කරුණක් හෝ පවතින ස්භාවයෙන් වෙනස් උනොත් ඔබගේ ඔය රූමත් කම තවදුරටත් නොතිබෙන්න පුළුවන්..”

ඇලෙන්ඩිගේ මුහුණේ වූ ව්‍යාකූලත්වය තවත් වැඩි වනු ජඩ් බලා සිටියේය..

“ඔබ දන්නවා මේ ස්භාවික ආලෝකය කොතරම් අපේ සමට වැදගත්ද කියන එක එහෙම නේද.. ඒ වගේම.. මේ වාතය.. පරිසරයේ තියෙන නොයෙක් රසායනික සංයෝග ඔබ ගන්නා ස්භාවික කෑම මගින් ඔබේ ශරීරයට ලැබීම නිසා තමා ඔබගේ ඔය රූමත් කම එසේ පවතින්නෙ..

මේ එක දෙයක් හරි පවතින මට්ටමට වඩා අඩු වැඩි උනොත්, ඔබගේ මෙන්ම තව බොහෝ දෙනෙකුට ඒකෙන් හානි වෙනවා.. පැරදිසෝ ලෝකෙම මිනිස්සුන්ට පවා හානියක් වෙන්න පුළුවන්…”

“හරි මට ඒක තේරුම් ගන්න පුළුවන්.. නමුත් මේ හැමදේම එහෙම වෙනස් වෙන්න විදියක් නෑනේ.. අනිත් එක එහෙම වෙනස් වෙනව නම්. ඔබලා කොහොමද ඒක වලක්වන්නේ..

“විශ්වයේ ස්භාවය අනුව එහෙම වෙනසක් වෙන්න බොහෝ කාලයක් යන බව ඇත්ත.. නමුත් මිනිසුන්ගේ ක්‍රියා නිසා බලාපොරොත්තු නොවෙන විදියට ඒවා වෙන්ඩ පුළුවන්..”

“හ්ම්ම්ම්… ඔබ මේ කියන්න හදන්නේ නෙමින්දේර් රජුගෙ ශුද්ධ ශක්තිය නිසා එහෙම වෙන්න පුළුවන් කියල ද..?’

“ඔබ බුද්ධමත් තරුණියක්…” ජඩ් සිනාසුනේය..

“නමුත්.. තවම අපි ශුද්ධ ශක්තිය ලබා ගන්න මට්ටමට ළඟා වෙලා නැහැ.. අනිත් එක.. ඔබ කොහොමද ඒක වලක්වන්නේ ..?

“ඔබ හිතනවට වඩා සිදුවන දේ සංකිර්ණයි.. හැමදේම ටිකෙන් ටික තේරුම් යයි..

“දැන්… ඔබගේ වෙහෙස නිවී ඔබ සූදානම් නම් අපිට පුළුවන් අපේ කටයුතු වලට යන්න.. ජඩ් හිඳ සිටි තැනින් නැගිටිමින් පැවසීය…”

“හ්ම්ම්.. මේ..මේ.. මගේ ඇඳුම.. මම ටිකක් අපහසුවෙන් ඉන්නෙ.. මේ ඇඳුම ඇදගෙන එලියට යන්න…”

ජඩ් ඇය දෙස බැලුවේය…

ඔබට ඔය ඇඳුම තිබීම වැදගත් වෙයි.. අපේ ඊළඟ කටයුත්තට..

“මොකක්….!!! “

එදින රාත්‍රිය කිසිදු සිද්ධියකින් තොරව ගෙවී ගියේය…රෑ පුරා ඇද හැලුණු වැස්සෙන් කඳවුරු භූමියම සේදී පිරිසිදු වී තිබිණි. මහ කුණාටුව නිසා ඇදැ වැටුනු ගස් කිහිපයක් හැර පරිසරය හිරු එලිය වැටී ප්‍රභාමත් වී තිබිණි.

සෙන්ට්‍රිනෝ අවදි වන විට ප්‍රයිකූල් එහි නොසිටියේය..

ගල් කුල අස්සෙන් එලියට පැමිණි සෙන්ට්‍රිනෝ දුටුවේ කූඩාරම් වලින් එලියට එන සෙබලුන්ය.. ඉතා වෙහෙසකර දින ගනනාවකට පසු ලැබුණු විවේකය බොහෝ සෙබලුන්ගේ වෙහෙස දුරු කර තිබුණි.

ඊයේ රෑ මොකුත් උනේ නෑ නේද?..

මම නම් බයේ හිටියේ කුණාටුවත් එක්ක තව මොන යක්ෂයො ටිකක් එයිද කියල…

සෙබලෙකු සෙන්ට්‍රිනෝ වෙත පැමිනෙමින් පැවසීය..

කෝ ප්‍රයිකූල්… ? ඔහු ඇසුවේය..

මම නම් දැක්කෙ නෑ.. මම දැනුයි නැගිට්ටේ..

හ්ම්ම්.. ඔය කොහෙට හරි යන්න ඇති.. අපි කෝපි එකක් බීල ඉමු… සෙබළුන් තැන් තැන් වල එකතු වෙමින් සාමිචියේ යෙදුනහ.

සෙන්ට්‍රිනෝ, උඹට ස්තුතියි… ප්‍රයිකුල්ට කියල අපිට මේ විවේකය අරන් දුන්න එකට. දැන් ආයෙත් ඕනේ යකෙක් එක්ක සටන් කරන්න අපිට ශක්තිය තියෙනවා. ඊයේ රෑ මට නම් පොඩි දරුවෙකුට වගේ නින්ද ගියා… එහෙම නින්දක් ලැබුණු කාලයක් වත් මතක නැති තරම්….

ඔව්… මටත් එහෙමයි .. පුදුම සැප නින්දක්… තවත් සෙබලෙක් කතාවට එකතු වෙමින් පැවසීය….

මං හිතන්නේ මේ වෙච්ච දේවල් හින්ද තිබ්බ මහන්සිය හින්ද වෙන්න ඇති… කොයි එකටත් බලපල්ලා හැම එකාම ඉන්නවද කියල .. සෙන්ට්‍රිනෝ සිනාසෙමින් පැවසිය…

ඒක නෙමෙයි සෙන්ට්‍රිනෝ අපි ඊළඟට කොහෙටද යන්නේ ..?

අපි බලාපොරොත්තු උනේ ඊළඟ අභියෝගය ඊයේ රෑම එයි කියල… මම දන්න විදියට නම් තුන් වෙනි එකත් එක්කම ඔය මිනීවලට යන්න මාවත විවෘත වෙනවා. ප්‍රයිකුල් හිතන් ඉන්නෙත් එහෙම තමා… සමහරවිට අද රෑ වෙන්නත් පුළුවන්….

ඔය මිනීවල හොයා ගත්තා කියමු… අපි කොහොමද ස්කෘලොක්ට ආයේ පණ දෙන්නේ ..?

“පණ දෙන එක අපිට අයිති වැඩක් නෙමේනේ… මම ඔය කතාව අහල තියෙන විදියට නම්, ස්කෘලොක් ගේ මිනිය ඔතන නැහැ. ස්කෘලොක් ගේ අනුගාමිකයෝ ඒක, නිබිරු වලට අරන් ගියාලු… මොකද මේ විශ්වයේ පහල වෙච්ච උසස් ජීවින් ඔක්කොම ඉන්නේ ඔය නිබිරු වල කියනවනේ… ස්කෘලොක් සමහර විට එහෙ ඉන්නවා ඇති… “ කෝපි බොමින් සිටි එක් සෙබලෙකු පැවසීය…

හහ් හහ්…. ඒක මම මිට කලින් අහල නැති කතාවක්… ඒ කියන්නේ අපි මේ කරන්නේ තේරුමක් නැති වැඩක් කියලද උඹ කියන්නේ …? සෙන්ට්‍රිනෝ අවඥාවෙන් ඇසීය..

“ස්කෘලොක් කියන්නේ යක්ෂයෙක් කියන එක මම නම් හිතන්නේ බොරුවක්… හිටපු ශ්‍රේෂ්ට රජකෙනෙක් ව ඉතිහාසය විසින් නපුරු යක්ෂයෙක් කරලා කියලයි මම නම් හිතන්නේ… තවත් සෙබලෙක් කතාවට එක්විය..

“උඹලට මෙච්චර ඉක්මනට පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල් අමතක උනා ද ? ස්කෘලොක් කියන්නේ මනුෂ්‍ය, අමනුෂ්‍ය බලවේග එක විදියට පාලනය කරන්න පුළුවන් මායා කාරයෙක්… ඔය නෙමින්දෙර් රාජ වංශය පටන් ගන්න කලින් හිටපු මස්ටේරියන් රජවරු 7 දෙනා තමා ස්කෘලොක් ව පරද්දල තියෙන්නේ… ? ඔය අපේ ක්‍රොෆින්ගර් කියන්නේ මස්ටේරියන් රජවරුන් ගේ අන්තිමය වෙච්ච මස්ටෙලා රජ්ජුරුවන්ගේ පවුලෙන් පැවතගෙන එන කෙනෙක්… “ සෙන්ට්‍රිනෝ පැවසිය.

“මම හිතුවේ ක්‍රොෆින්ගර් නෙමින්දෙර් වංශේ කෙනෙක් කියල… “

“ඔව්.. ක්‍රොෆින්ගර්ට දෙපැත්තෙන්ම සම්බන්ධ කම් තියෙනවා… ඔය මස්ටෙලා රජ්ජුරුවෝ තමා නෙමින්දෙර් පරම්පරාවේ මුලිකයා… මට ඕවා ඔක්කොම මතක නැහැ… කොහොමත් ස්කෘලොක් කියන්නේ අරුම පුදුම බලයක් තිබ්බ මායාකාරයෙක්… අනිත් එක … ස්කෘලොක් ගේ මිනිය තාම තියෙනවා. එකේ සැකයක් නැහැ… ප්‍රයිකුල් රෙඩ් වුල්ෆ් කඳවුරෙන් එන විස්තර වලට අනුව තමා වැඩ කරන්නේ… උඹල ඔය අනිත් මනස්ගාත හිතන්න එපා… කොයි මොහොතේ මොන යක්ෂ බලාවේගයක් එයිද කියල විශ්වාස නැහැ… සුදානම් වෙලා හිටපල්ලා… සෙන්ට්‍රිනෝ හුන් තැනින් නැගිටිමින් පැවසිය…

“කෝ මේ ප්‍රයිකුල්… උඹල ප්‍රයිකුල්ව දැක්කොත් කියපන් මම අර කන්ද පැත්තට ගියා කියල… “ එසේ පවසමින් සෙන්ට්‍රිනෝ කන්ද දෙසට ගියේය…

ප්‍රයිකූල් තවමත් සිටියේ තද නින්දේය…

නමුත් ඔහු සිටියේ පෙරදා රාත්‍රිය ගතකල ගල් කුල යට නොව, ඉතා සුවපහසු සයනයකය..